ඊළාම් සිසුහු ට්‍රිචි මිහින් ලංකා කාර්යාලයයට කඩා වදිති


තමිල්නාඩුවේ ට්‍රිචි නුවර මිහින් ලංකා කාර්යාලයයට කඩා වැදුණු ඊළාම් වාදී සිසුහු 11 දෙනෙක් තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

එම කන්තෝරුවේ වාඩි වී උද්ඝෝෂණය කළ සිසුහු ඉන්දියා විදේශ ඇමැති ලක්ෂ්මන් කුර්ෂිත්ගේ පඹයකු ද පිළිස්සූහ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා විඳින ගැහැට ඉන්දියා මධ්‍යම රජයට දැන්වීම තම අරමුණ බව සිසුහු කීහ.

ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමිල්නාඩු රජය කරන යෝජනාවට ඉන්දියා මධ්‍යම රජය සහයෝගයක් දැක්විය යුතු බව ද ඔවුහු පවසති.

තමිල්නාඩුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරණ ස්ථාවරය ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත බොහෝමයක් නොපිළිගන්නා බව විදේශ ඇමැති කුර්ෂිත් කියා ඇත.

කුර්ෂිත් ඇමැතිකමින් පන්නා දැමිය යුතු යැයි ද සිසුහු කීහ.

තමිල්නාඩුවේ සිටින අට කෝටියක් දෙමළ ජනතාවගේ හැඟීම් ඉන්දියා මධ්‍යම රජය පිළිගත යුතු යැයි ද, තමන් කිසිම දේශපාලන පක්ෂයකින් උසිගන්වා නැතැයි ද, තමන්ගේ හෘද සාක්ෂිය අනුව ක්‍රියා කරන්නේයැයි ද එම සිසුහු කීහ.

මෑත සිදුවූ ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණවලින් පසුව තමිල්නාඩුවේ පාසල් අද යළි වීවෘත විය.