යාපනය නාරන්තනෙයිහිදී 2001 වසරේදී දෙමළ ජාතික සන්ධානයේ අධාරකරුවන් දෙදෙනකු ඝාතනය කළ ඊපීඩීපී සංවිධානයේ නියෝජිතයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා අද (07) මරණ දඬුවම නියම කළේය.
ඊපීඩීපී සංවිධානයේ කයිඩ්ස් පාලකයාව සිටි සෙබස්තියන් රමේෂ්හෙවත් නැපෝලියන්, ඊපීඩීපී පක්ෂ නියෝජිතයකුව සිටි නඩරාජා මදනරාජා හෙවත් මදන් සහ ඇන්ටන් ජීවරාසා හෙවත් ජීවන් යන තිදෙනාට එලෙස අමරණ දඬුවම නියම කැරිණි.
2001 වසරේ නොවැම්බර් මස 28 වැනි දා යාපනය කයිඩ්ස් ප්‍රදේශයේ පැවති දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැළියකට සහබාගී වෙමින් සිටියදී නාරන්තනෙයි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයට පහරදී එම සන්ධානයේ මාවෙයි සේනාධිරාජා එම් කේ සිවාජිලංගම් යන නියෝජිතයින් ඇතුළු 18 දෙනෙකුට තුවාල සිදුකිරීමත්, ඒ රම්බු පේරම්බලම් සහ යෝගසිංගම් කමල්ස්ටෝන් යන දෙදෙනා ඝාතනය කිරීමටත් එරෙහිව මෙම නඩුව 11 වසරක් පුරා යාපනය මහාධිකරණයේදී විභාග විය.
නඩුවේ සිව්වැනි සැකකරු වූ වේලනෙයි හිටපු සභාපතිවරයෙකු වූ රාමසිවායම් කරනාකරමූර්ති සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබීය.
මරණ දඬුවම නියම වූ තිදෙනාට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට හා සාමාජිකයින්ට පහරදීම සහ රථවාහන වලට අලාභ හානි සිදුකිරීමේ චෝදනාවන්ට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ රුපියල් ලක්‍ෂය බැගින් වූ දඩමුදලක්ද ගෙවන ලෙස මහාධිකරණය නියම කළේය
වසර 11 ක කාලයක් විභාග වූ මෙම නඩුවේ චූදිතයින් සිව් දෙනාට එරෙහවි චෝදනා 47ක් එල්ලවී තිබුණු අතර මෙම නඩුවේ තීන්දුව පිටු 140කින් සමන්විත විය.