ඊ.පී.ආර්.එල්.එෆ් තීරණය පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු


( බිගුන් මේනක ගමගේ )
 
 
උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය කිසිසේත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී යහපැවැත්මට හේතු නොවන බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අර්බුදකාරීත්වයක් නිර්මාණය වනු ඇති බවත් ඊළාම් ජනතා විමුක්ති පෙරමුණේ(ඊ.පී.ආර්.එල්.එෆ්) නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන දේශපාලන පාර්ශ්වයන්ගේ ඒකාබද්ධතාව නිරවුල් නැති බව කී හෙතෙම සිය පක්ෂයට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සිදුවන්නේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව බව අවධාරණය කළේය.
 
මෙම කිසිදු දේශපාලන ගැටුමකින් දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් පාර්ලිමේන්තුවේ බහුතරය ගැන තවමත් ඇත්තේ අවිනිශ්චිතබවක් බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා කීය.
 
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
 
විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට පිල් මාරු කරමින් සිටිනවා. එනිසා කිසිවක් නිශ්චිත දේශපාලන මොහොතක් නෙවෙයි අපි ගතකරමින් සිටින්නේ. සිදුවන්නේ කුමක්දැයි නැවතී බලාසිටින්නට අපට සිදුව තිබෙනවා. පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමට තවත් සතියක කාලයක් ඉතිරි වී තිබෙනවා. දේශපාලන පක්ෂයක් හැටියට මේ අවස්ථාවේ අපට තීරණයක් ගැනීමට බෑ. 
 
පාර්ලිමේන්තුව රැස් වී නිර්මාණය වන තත්ත්වය අනුවයි අපට තීන්දුවක් ගැනීමට සිදුවන්නේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අගමැති හැටියට මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් බව ඇත්තයි. එහෙත් තවමත් තිබෙන්නේ විවාදපන්න තත්ත්වයක්. 
 
කොහොම වුණත් දේවල් සිදුවන ආකාරය අනුව දේශපාලන අර්බුදයක් කරා යන බව පැහැදිලියි. මේ තත්ත්වය උඩ නිසැකයෙන්ම ශ්‍රී ලංකා හා යූ.එන්.පී අතර දේශපාලන ගැටුමක් හටගනීවි. ඒක කිසිසේත්ම රටේ සෞඛ්‍යසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර තත්ත්වයක් නොවෙයි කියන එක නම් අපට පැහැදිලිව කිව හැකියි.