ඉසිපතන විදුහල් හිටපු රග්බි ක‍්‍රීඩක පියුම් සමුගනී


කොළඹ ඉසිපතන විදුහලේ හිටපු කීර්තිමත් රග්බි ක‍්‍රීඩකයකු සහ නායකයකු මෙන්ම රග්බි කමිටුවේ හිටපු ලේකම්වරයකු වන පියුම් ප‍්‍රසන්න මහතා අභාවප‍්‍රාප්ත විය. අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 41 වැනි වියේ පසු විය.

ඉසිපතන රග්බි ඉතිහාසයේ විශිෂ්ටතම රග්බි පිල ලෙස සැළකෙන 1992 කණ්ඩායම අපරාජිත වාර්තාවක් තබමින්, ප‍්‍රධාන රග්බි ශූරතා තුනම දිනාගැනීමට සමත් වූ අතර එම කණ්ඩායමේ ‘ෆ්ලෑන්කර්’ සහ ‘හුකර්’ ක‍්‍රීඩකයකු ලෙස හෙතෙම කටයුතු කළේය. වයස 13 න් සහ 15 න් පහළ කණ්ඩායම්වල නායකයා ලෙස ද ඔහු කටයුතු තර තිබේ.

වසර 2007 සිට 2011 දක්වා ඉසිපතන විදුහල් ආදි රග්බි කමිටුවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. තම පාසලට අසීමිත ඇල්මක් දැක්වූ පියුම් ප‍්‍රසන්න මහතා 1992 වසරේ ආනන්ද විදුහලට එරෙහිව පැවැති අවසන් මහ තරගයට සිය පියාගේ අවමංගල උත්සවයට සහභාගි නොවී ක‍්‍රීඩා කළ බව එම විදුහලේ ආදි රග්බි කමිටුව පවසයි.
ඒ මහතාගේ දේහය අඟුලාන දුම්රියපොළ පාරේ, උද්‍යාන පෙදෙසේ දෙවැනි පටුමගේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (13) පස්වරු 4.30 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.