ඉස්සර කිරි පැණි වාගේ: දැන් නයි මුගටි සටනේ


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරිය පරිත්‍යාග කිරන බව කී ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා අද (20) ප්‍රකාශයක් ලබා දීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ගොස් මාධ්‍යයට අදහස් නොදක්වාම පිටව ගියේය.

මූල්‍ය විශුද්ධිකරන පනත යටතේ ප්‍රශ්න කිරීම සඳහා ඔහු කැඳවා තිබිණි.

අපරාධ කොට්ඨාසයට ගොස් විනාඩි 40කට ආසන්න කාලයක් එහි සිටි ඔහු පිටතට එන විට තැතිගෙන ඇති බවක් පෙනිණි.

කොළඹ අපරාධ කොට්ඨාසයට යෑමට පෙර ලියනගේ මහතා ‘එසැණ‘ට කීවේ තමා අතුරුදන් වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

අද හිටපු ජනපති පීකොක් මන්දිරයේ පදිංචියට ඒමට නියමිතව සිටි බවත්, වසර දෙකක් නොමිලයේ සිටීමට හිටපු ජනපතිට මන්දිරය ලබා දීමට අදහස් කළත් ගිවිසුමක් අත්සන් කිරීම ජනපතිගේ පාර්ශ්වයෙන් අකමැති වූ බවත්, තමා අතුරුදන් වි ඇති බවට දැන් විවිධ කතා පැතිරණ බවත්, එවැනි බොරු ප්‍රචාර මගින් තමාට හානියක් නැතත් එය හිටපු ජනපතිට හානියක් බවත් ලියනගේ මහතා කීවේය.