ඉන්ධන වලට සහනයක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඉන්ධනවලට  ලබන මාසයේදී   ජනතාවට දැනෙන සහනයක් දෙන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය.

ඊට පසුව දෙසැම්බර් මාසයේදී විදුලි  බිලටත් සහනයක් දෙන බව හෙතෙම සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේදීය.

කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.

බොරතෙල් මිල අඩු වෙමින් තියෙනවා. ඒ වගේම රුපියලත් ශක්තිමත් වෙනවා. ඉන්ධන මිල සහනයක් දෙන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් මට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ සහන දෙනවා.

"පාරවල්වල උද්ඝෝෂණය කරලා විදුලියේ ස්වීච් ඕෆ් කළාම  රටට ආයෝජකයෝ එන්නේ නැහැ. සමහර දේශපාලන පක්ෂ කරන්නේ
ඒ වැඩේ. දේශපාලන පක්ෂ මෙහෙයවන වෘත්තීය සමිති තියෙනවා. සමහරු පළාත් පාලන මැතිවරණයට පවා ඉදිරිපත් වෙලා තියෙනවා. මූල්‍ය අරමුදලේ මුදල් එනකොට ඒ අයගේ  එක සටන් පාඨයක් නැති වෙනවා. ඉන්ධන මිල අඩු වෙන කොට තවත් සටන් පාඨයක් නැති වෙනවා. බඩු මිල අඩු වෙනකොට තවත්  සටන් පාඨයක් නැති වෙනවා. ඒ නිසා මේ අය දැන් කුලප්පු වෙලා. තර්ජන ගර්ජන කරනවා. රටට කුමක් වුණත් කමක් නෑ තමන්ට බලයට  ගන්න පුලුවන් නම් . වර්ජන තර්ජන කරනවා. විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව ප්‍රති ව්‍යුහගතකරණ  වැඩපිළිවෙළ  ආපස්සට ගන්න සූදානම් නැහැ. ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ඉන්ධන සැපයුම්  වෙළෙඳපොළ  විවෘත කිරීමට කටයුතු කරනවා. එහෙම කරන්නේ තෙල් පිළිබඳ තරගකාරිත්වයක් ඇති කිරීමට.