ඉන්ධන ආනයන මිල ඉහළ යයි


මේ වසරේ ජූලි මාසයේදී ඉන්ධන ආනයන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

 

බොර තෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යෑම ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ යැයි ද ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

 

මේ අනුව මේ වසරේ ජූලි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 276.6ක මුදලක් වැයකර තිබෙන අතර එය පසුගිය වසරේ ජූලි මාසයට වඩා  28.1% ක වර්ධනයකි.

 

පසුගිය වසරේ ජූලි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 215.9ක මුදලක් වැය කර ඇත. 

 

ජූලි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා වැය කරන ලද මුදලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 55.1ක් බොරතෙල් ආනයනය සඳහා වැය කර තිබෙන අතර ඩොලර් මිලියන 221.5ක් වැය කර ඇත්තේ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනයටය. 

 

ඊට අමතරව මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ඉන්ධන ආනයනය කිරීමට එක්සත් ජනපද ඩොලර් මිලියන 2,370.2ක මුදලක් වැයකර තිබෙන අතර එය පසුගිය වසරේ ජනවාරි සිට ජූලි මාසය හා දක්වා කාලය සැලකීමේදී  28.8% ක වැඩිවීමක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි.

 

 

055