ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූ කම්පන දෙකක්


 
ජකර්තාහිදීය (ඒ.එෆ්.පී)
 
ඉන්දුනීසියාවට තවත් භූ කම්පන දෙකක් බලපෑ බව එක්සත් ජනපද භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව අද (2) පෙරවරුවේ සඳහන් කළේය.
 
ඉන්දුනීසියානු වේලාවෙන් අද උදෑසන එරට සුම්බා දූපතේ නැගෙනහිර වෙරළ තීරයට මෙම භූ කම්පන දෙක බලපා තිබෙන අතර ඉන් පළමු වැන්නේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් ලෙස සටහන් වී ඇත. සුම්බා දූපතට කිලෝමීටර 40ක් දුරින් භූ කම්පනය හටගෙන ඇත. 
 
සුම්බා දූපතේ 750,000 ට ආසන්න පිරිසක් ජීවත් වෙති. ඉන් මිනිත්තු 15කට පසු දෙවැනි භූ කම්පනය හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.0ක් ලෙස සටහන්  වී ඇත. එය ඇති වී තිබෙන්නේ ද පළමු භූ කම්පනය හටගත් ප්‍රදේශයේ වන අතර එහි ගැඹුර කිලෝමීටර් 30කට ආසන්න බව පැවසේ. 
 
“භූ කම්පන හතරක් අපට දැනුණා. පළමු කම්පනය දැනුණු පසු අපි හෝටලයෙන් පිටතට දිව ගියා. හෝටලයේ අමුත්තන් 40කට ආසන්න පිරිසක් සිටියා” යැයි පාඩාඩිටා හෝටලයේ සේවකයෙක් පැවැසීය.
 
“ඊට පොඩි වේලාවකට පස්සේ භූ විද්‍යා ආයතනය අනතුරු ඇඟවීම් නිකුත් කළා. දැන් සියල්ල සන්සුන්” හෙතෙම කීය.
 
භූ කම්පනයෙන් සිදු වූ හානියක් පිළිබඳ තොරතුරු වාර්තා නොවුණු අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නොවිණි. 
 
සුම්බා දූපත පිහිටා ඇත්තේ පසුගිය ප්‍රබල භූ කම්පනයකට පසු සුනාමි ව්‍යවසනයකට ගොදුරු වූ සුලාවෙසි දූපතට කිලෝමීටර 1,600ක් ඈතිනි. ඉකුත් සිකුරාදා (28) සිදු වූ එම ව්‍යවසනයෙන් 800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 


055