ඉන්දීය ධීවරයාට වෙඩි තැබීම ගැන පිරික්සන්න ජනපතිගෙන් පොරොන්දුවක්


(හර්ෂණ තුෂාර සිල්වා)

ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට තිබෙන චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වූ බව ඉන්දීය මාධ්‍ය අද (8) වාර්තා කළේය.  ඉන්දීය සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ඉන්දීය උප ජනාධිපති හමීඞ් අන්සාරි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමු වී කළ විමසුමකට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සහතික කර ඇතැයි වාර්තා වේ. 

ඉන්දු ලංකා සබඳතා පළුදු වන කිසිදු කටයුත්තකට ඉඩ නොතබන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර තිබිණි.  මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංග් සන්ධු මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාව අවධානයෙන් සිටින බව ද සඳහන් කර ඇත. 

කෙසේ වෙතත් වෙඩි තැබීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි.