ඉන්දීය ආධාර ගුවන් යානයක් කටුනායකට


( ටී.කේ.ජී.කපිල )

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ අංග සම්පූර්ණ  ජංගම ආරෝග්‍යශාලා දෙකක් රැගෙන ඉන්දීය ආපදා ආධාර ගුවන් යානයක් අද (12) දින පස්වරු  05.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම ගුවන් යානය තුළ මෙම රෝහල් වලට අවශ්‍ය වෛද්‍යවරුන් , හෙදියන් , උපස්ථායකයින් ඇතුළු හමුදා රෝහල් කාර්යය මණ්ඩලය සදහා 73 දෙනෙකුගෙන් යුතු නිලධාරීන් පිරිසක් ද , ස්කෑන් යන්ත්‍ර , ඖෂධ , පානීය ජල බවුසර් , ගිලන් රථ , කසළ බදුන් ඇතුළු අංග සම්පූර්ණ රෝහලකට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය රැගෙන විත් තිබුණි.

මෙයින් එක් රෝහලක් වැලිමඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇතත් , මේ වනවිට එම ස්ථානයට ලගා වීමට අපහසු තත්වයක් පවතින බව ඉන්දීය ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම වෛද්‍ය උපකරණ රැගත් ගුවන් යානය අද (12)  ඉන්දියාවේ අග්‍රා නුවර සිට පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා වේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ යුධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .