ඉන්දියාවෙන් ලැබූ දැනුම ගොඩක් වටිනවා


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ,  ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ 75 වැනි ස්ථාපිත දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්  කොළඹ ටාජ් හෝටලයේදී පැවැත්විණී.

ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ ශිෂ්‍යත්වධාරියෙකු ලෙස, ඉන්දියාවේදී තමා ලැබූ අධ්‍යාපනික අත්දැකීම් ජීවිතයට මහත් බලපෑමක් ඇති කළ බවත් එය හුදු විධිමත් අධ්‍යාපනයක් පමණක් නොව ඉන්දීය ශිෂ්ටාචාරයේ, සංස්කෘතියේ සහ බුද්ධිමය සම්ප්‍රදායන්ගේ ගැඹුර හා විවිධත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ලැබුණ අගනා   අවස්ථාවක් වගේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික සබඳතාව ඉතා ගැඹුරු එකක් බවත් ඇය පැවසුවාය.

1998 දී කොළඹ පිහිටුවන ලද ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC), මෙරට අතර සංස්කෘතික හුවමාරුව, සහයෝගීතාවය සහ මිත්‍රත්වය සඳහා වූ විචිත්‍රවත් වේදිකාවක් නිර්මාණය කළ පව කී අගමැතනිය  වාර්ෂිකව සංස්කෘතිකාංග  300 කට අධික ප්‍රමාණයක් (ප්‍රදර්ශන, නැටුම් හා සංගීත ප්‍රසංග, සම්මන්ත්‍රණ, යෝග සහ ආයුර්වේද සැසි, සහ සාහිත්‍ය වැඩසටහන් ඇතුළුව) කරළායට ගෙනෙන මෙම මධ්‍යස්ථානය, දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේදී අවස්ථාවෝචිතව වැදගත් කාර්යයක් ඉටු කර තිබෙන වව ද සදහන් කළාය.

පසුගිය වසර දෙක තුළ පමණක්, ශ්‍රී ලාංකික සංස්කෘතික කණ්ඩායම් හයක් ඉන්දියාවේ ප්‍රසංග පැවැත්වීමට ආරාධනා ලැබු බවත් මෙම හුවමාරු මගින් සංස්කෘතික රාජතාන්ත්‍රිකභාවය දේශසීමා ඉක්මවා, දේශපාලනය ඉක්මවා ගොස්, අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය කරන ආකාරය කදිමට විදහා දක්වන බවත් ඇය වැඩි දුරටත් සදහන් කළාය.