(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු ආගමන කාර්යාංශයේ නිලධාරීන් රවටමින් දිල්ලි ගුවන් තොටුපොළෙන් කැනඩාව බලා යාමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු සහ ඔවුන් කැනඩාවට යැවීමට උත්සාහ දැරූ නියෝජිතයා දිල්ලි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ ගැවසෙමින් සිටි පුද්ගලයන් 10 දෙනකු ඔවුන් එම ස්ථානයේ රැඳී සිටීමට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දිල්ලි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
දිල්ලි පොලිසිය ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා හැඳුනුම්පත් ඉල්ලා ඇති අතර හැඳුනුම්පත් ලබා නොදීම හේතුවෙන් ඔවුන් පොලිසියට රැගෙන විත් වැඩි දුර විමර්ශනවලදී මෙම පුද්ගලයන් 10 දෙනා ශ්‍රී ලාංකිකයන් බවත් කැනඩාව බලා අත් අඩංගුවට ගත් නියෝජිතයා චෙන්නායි හි පදිංචි ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයකු බව අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයන් 10 දෙනාට චෙන්නායි ගුවන් තොටුපොළට පැමිණෙන ලෙසත් පැමිණීමෙන් පසු චෙන්නායි හි නියෝජිතයා ඔවුන්ට කැනඩාව බලා ගමන් කිරීමට අවශ්‍ය සියලු දේ සූදානම් කරනු ඇති බවත් දන්වා ඇත.
නමුත් ඔවුන් අත් අඩංගුවට පත්වූ දිනයේදී කැනඩාව බලා ගමන් කිරීමට සූදානම් වී සිට ඇති අතර මතු වූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් නැවත රැඳී සිටි හෝටලය වෙත ගමන් කරන ලෙස නියෝජිතයා ඔවුන්ට දැනුම් දී තිබේ.

