ඉන්දියාව වකුගඩු ජාවාරමේ තොරතුරු ඉල්ලයි


ශ්‍රී ලංකාවේ රෝහල් හතරකදී කළැයි කියන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම ගැන පරීක්ෂණයක් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් තොරතුරු ඉල්ලා සිටීමට ඉන්දීය පොලීසිය සුදානම් වෙයි.

‘ද හින්දු‘ පුවත් පත් වාර්තා අනුව මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගත් ඉන්දීය නල්ගොන්ඩා පොලීසිය මේ තොරතුරු ඉල්ලයි.

නල්ගොන්ඩා පොලීසිය පසුගිය ජනවාරියේදී මේ ගැන මුලින්ම හෙළිකරගත්තේය.

ඉන්දියාවේ  ‘ද හින්දු‘ පුවත්පතට ප්‍රකාශයක් කරමින් වික්‍රම ජීට් ඩුගල් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි.

එසේ තොරතුරු ඉල්ලා සකස් කෙරෙන ලිපිය තෙලගනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙන්ම ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශය විසින් සම්මත කරගත යුතු බවද පවසා තිබේ.

වකුගඩු මුදලට අලෙවි කළැයි චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් හෙළිකරගත් තොරතුරු වලට අනූව වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම ශ්‍රී ලංකාවේ රෝහල්  4ක සිදුකර ඇති බව ඉන්දීය පොලීසිය කියයි.