ඉන්දියාව-ලංකාව අතර හවුල් සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්


(අංජුල මහික වීරරත්න)


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 2017 වසරේ අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඒ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම කළේ නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමුවූ අවස්ථාවේදී ය.


මෝදි මහතා විසින් ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.


රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.


මෝදි මහතා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමා තුළ හෝ ශ්‍රී ලංකිකයන් තුළ නොමැති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට කිසියම්ම හෝ හේතුවක් මුල් විණි නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බව පැවසීය.