ඉන්දියාව පරදින බවට ඉන්දියාවෙන්ම අනාවැකියක්


මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි නොවන බව ඉන්දීය දෛවඥයකු පවසා ඇතැයි ඉන්දීය පුවත් වාර්තා පවසයි.

අනාවැකියක් පවසමින් ග්‍රීන්ස්ටෝන් ලෝබෝ නමැති දෛවඥයා පවසා ඇත්තේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට තරම් අවස්ථාවක් නැති බවයි.

ඔහුගේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු පවසන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණි බවයි. එමෙන්ම පාකිස්තාන කණ්ඩායමට යම් හෙයකින් තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණීමට හැකියාව ලැබුණහොත් ඔවුන් මෙවර ලෝක කුසලානය ජයගැනීම ස්ථිර බවද ඔහු කියයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍රසිං දෝනිට ඇතැම් කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැති බවද ලෝබෝ සඳහන් කර ඇත. එමෙන්ම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් පවතින බවද ඔහු විස්තර කර දක්වා ඇත.

මෙම දෛවඥයා විසින් ‘ඔබේ සත්‍ය ලග්නය කුමක්ද?‘ නමින් ජනප්‍රිය කෘතියක්ද ලියා ඇතැයි ඉන්දීය පුවත් සේවා කියයි. එහි ඔහු පෙන්වා දී තිබුණේ මාර්තු 19 වැනිදා ඉන්දියාව හා පාකිස්තානය අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේ දී දැඩි තරගකාරී බවක් ඇතිවිය හැකි බවයි.

dhoni-afridi-smilee