ඉන්දියානුවෝ හතරක් රන් බිත්තර 28ක් දමති


අධිකරණ නියෝග මත මීගමුව රෝහලේ රඳවා සිටි  ඉන්දියා  ජාතිකයින්   හතර දෙනා ගිල දමා තිබී පිටතට ගත් රත්තරන් බෝල 28 හි  රේගු පරික්ෂණය අද  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී  සිදු කැරිණි.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී  ඔවුන්  අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ  බවයි.

දින  18 ක් තිස්සේ  මීගමුව රෝහලේ නේවාසිකව සිටි ඔවුන් එහිදි   වැසිකිලි යාමට සලස්වා අවස්ථා කිහිපයකදී මෙම රන් බෝල ඉවත් කරගෙන ඇත.

රත්තරන් ගුලි උපත් පාලන කොපුවල බහා එක් අයෙකු  2,5,6,15 වශයෙන් ගිල තිබූ අතර  රේගු නිලධාරීහු  ගුවන්තොටුපොළේදී  නාස් වසාගෙන ඉවතට ගෙන පිරිසිදු කර බර කිරා වටිනාකම තක්සේරු කළහ.  එය ඔවුන්ට ඉතා අසීරු කටයුත්තක් විය.

මෙම රන් ගුලිවල  බර ග්‍රෑම් පන්සීයක්  හා   එහි වටිනාකම  රුපියල් ලක්ෂ විසි පහක්  බවට රේගුව  ගනන් බලා ඇත.

මේ පිලිබඳ විමර්ශන කටයුතු  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ  රේගු නිලධාරීහු සිදු කරනු ලබති.