ඉන්දියානු නිළියක් ලෙස මා හැඳින්වීම මගේ හිතට දුකක්...


 

 

 

   ‘‘පූජා’’ ලාංකීය සිනමාවේ ජනප‍්‍රියම නිළිය සම්මානය ලැබීම ගැන ඔබට හැඟෙන්නෙ මොන විදියට ද?
පුදුමාකාර සතුටක්. වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ සතුටක්.

 
 
 


 මෙවැනි සම්මානයක් ලැබේවි කියන සිතිවිල්ල ඔබට තිබුණද?
කොහෙත්ම නැහැ. ඒත් සමහර වෙලාවට ඉන්දියානු නිළිය කියන දේ කියද්දි මට පුංචි දුකක් තිබුණෙ. ඒ අනුව බලද්දි ඉතින් මේ සම්මානය විශාල අවස්ථාවක්.

 


 ඉන්දියාවේ දී ඔබ විවිධ සම්මාන ලබා තිබුණත්, විවිධ සම්මාන සඳහා නාම යෝජනා වුණත්, ජනප‍්‍රියම කියන සම්මානය ලැබුණෙ ලංකාවේදියි. එය විශේෂිත දුර්ලභ දෙයක් නේද?
 ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. නමුත් මම උපන්නෙ මෙහිදීයි. තමන් උපන්න රටේදී ලැබෙන සම්මානය  ඕනෑම කලාකරුවෙකුට අතිශයින්ම වටිනා දෙයක්.

 


 එදා සම්මානය සඳහා ඔබගෙ නම ප‍්‍රකාශ කරද්දී ඇති වුණේ මොනවගේ හැඟීමක්ද?
කුසපබා වාර්තාගත සම්මාන රැසක් ඒ වන විටත් ලබා තිබුණා. ඉතින් ඒ ගැන කොහොමටත් සතුටින් හිටියෙ. මොකද ‘කුසපබා’ ට සම්මාන ලැබීම අපි කවුරුත් ලැබූ සම්මාන වගෙයි. අපේ කුසපබා පවුල දිනලා ඉවරයි. ඒ නිසා මම මා ගැන හිතුවෙ නැහැ. නමුත් නම යෝජනා වී තිබුණාම ඒක සිහිනයක් ද කියලත් මට හිතුනා.

 


 දැන් ඒ සිහිනය යථාර්ථයක් වී තිබීම ඔබට දැනෙන්නෙ කොහොමද?
තවමත් මම සුරංගනා ලොවක වළාකුළු අතරේ පාවී යනවා වගේ දැනෙන්නෙ. දැන් මම ඉක්මණටම ආයෙත් පොළවෙ පය තබන්න  ඕනෑ. එච්චරටම මට සතුටුයි.

 


සිනමාලෝලීන්ට මොනවද කියන්න හිතුණෙ?
තෑන්ක් යූ කියන එක විතරක් කියලා මදි. මට වචනයෙන් විතරක් ඒ අයට ස්තූති කරන්න බැහැ. ඔවුනට මම හදවතින්ම ආදරෙයි, ආදරෙයි, ආදරෙයි...

 


 මේ සම්මානය ලබන වෙලාවේ ඔබට එක්වර මතකයට ආවේ කවුද?
කතා දෙකක් නැහැ, ඒ මගේ අම්මාවයි. අංජලිකා චිත‍්‍රපටය සඳහා මාව තෝරාගෙන සිටියදී, මම එහි රඟපාන්න බැහැ කියද්දී, අම්මා තමයි කිව්වෙ පූජා ඔයා උපන්නෙ ලංකාවේ, ඔයා එහෙට මොනවා හරි කරන්න  ඕනෑ කියලයි. ඒ නිසා උපන් රටට වැඩක් කරන්න වෙලාවක් නැහැ කියන්න එපා කීවා. ඒත් මම ඒක ගණන් ගත්තෙ නැහැ. පස්සෙ සීයා කෝල් කරලා, චූටි දු අංජලිකා හරිම ලස්සනයි, මම පිටපත කියෙව්වා, ඔයා කරන්න කීවා. සීයා පව්නෙ කියලා හිතාගෙන මම එය කළා. අම්මාට ලොකු විශ්වාසයක් තිබුණා. අම්මාට මගේ ගෞරවය, ආදරය, සෙනෙහස එක්ක මේ සම්මානය එයාගෙ අතට දුන්නා.

 


 මේ ජනප‍්‍රිය සම්මානය ලැබූ විගස මුලින්ම සුබ පැතුවෙ කවුද?
ඒ වෙලාවෙ මගේ ඉස්සරහ හිටියෙ සුනිල් සර්, සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යුවළයි. එයාලා මට සුබ පැතුවා.

 


 ලංකාවේ අනෙකුත් රංග ශිල්පිනියන් ගෙන් ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?
ඒ වෙලාවෙ කුසපබා වෙනුවෙන් සම්මාන ලබා ගැනීමට වීණා අක්කා වේදිකාවේ හිටියා. ඇයගෙන් මුලින්ම සුබ පැතුම් ලැබුණා. ඊට පස්සෙ නිල්මිණි අක්කි ඇවිත් සුබ පැතුවා. මගේ ආසනය අසල සිටි යශෝධා අක්කත් සුබ පැතුවා. ඊට පස්සෙ උළෙල අවසන ගොඩක් අය සුබ පැතුවා.

 

 


 මේ එක්කම ලංකාව ගැන ඔබට හැඟෙන දේ මොන වගේද?
මම හැමදාම ලංකාවට ආදරෙයිනෙ. පාස්පෝට් එකේ වැඩිපුර බැලූවොත් ලෝකයේ බොහෝ රටවලට ගිහින් තිබුණත් වැඩිපුර ගිහින් තියෙන්නෙ මගේ උපන් රට ලංකාවටයි. මම ලංකාවේ පදිංචි වෙනවා කියලත් කියලා තියෙනවා. දැන් ඒක යථාර්ථයක් කරලා ඉවරයි.

 


 පසුගිය දිනවල ආරංචි වුණේ ඉන්දියාවේ දී ඔබ විවාහ වෙලා කියලයි. ඒක බොරුවක් ද?

 

ඉන්දියාවේ සමහර මාධ්‍යවල ඒ විදියට පලවෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, මට දරුවන් දෙදෙනෙක් ඉන්න බවත් සඳහන් වෙලා තිබුණා. ඒවා ඉතින් කටකතා සහ  ඕපාදුප විතරයි. මං ඒවාට පුදුම නොවුණේ ඉන්දියාවේ දී ඒ වගේ දේවල් සාමාන්‍ය දේ නිසයි. කොහොම වුණත් කෙනෙකුගේ චරිතයට හානි නොවන දේ සිදු වෙනවා නම් හොඳයි. දමිළ තිරයේ ප‍්‍රකට නළුවකු සමග විවාහ වෙන්න යනවා කියලත්, මෙහේ රොෂාන් එක්ක විවාහ වෙන්න යනවා කියලත් තිබුණා. කොහොම වුණත් මගේ චරිතයට හානි වන දේ කරනවා නම්, මම කට පියාගෙන ඉන්නෙ නම් නැහැ.

 


 ජනප‍්‍රිය නිළියගෙන් පසුව දක්‍ෂතම නිළිය වීමට අදහසකුත් තියෙනවද?
සහතිකෙන්ම ඒක සිහිනයක්.

 


 ඔබට මෙහි තරගකාරිත්වයක් තියෙනවද? මම අහන්නෙ අනෙකුත් නිළියන් සමග?
මට තරගය තියෙන්නෙ මා එක්ක විතරයි. කරන දේ වෙනුවෙන් සියයට සීයක් නෙවෙයි, සියයට දාහක් කැපවීම මාගේ පුරුද්දයි. මම මා එක්කයි තරග කරන්නෙ.

 


 ඉදිරියේ දී ඔබව දැකගත හැකි නිර්මාණ මොනවාද?
දමිළ නිර්මාණයක රඟපෑවා. එය ඉදිරියේ දී තිරගත වේවි. ඊට ශ්‍රී ලංකා රසිකයින්ගෙන් විශාල ප‍්‍රතිචාර ලැබේවි. තවත් හරි ලස්සන චිත‍්‍රපටයක්.

 


 දැන් හොඳට සිංහල සිංදු කියන්නත් පුළුවන්ලූ නේද?
‘‘පියාඹන්න ආසයි ඔබ හා මා’’

 


 කුසපබා දෙබසකුත් කියමු නේද?
‘‘ඔයා මට හැමදාම බොරු කළා වංචා කළා, මුළු කසාවතී පුරයෙම... හැම තැනම පේ‍්‍රතයෝ - කුම්භාණ්ඩයෝ...’’