ඉන්දියා මුදලාලි හක් බෙල්ලන් සමග රේගු දැලේ


මිළ කළ නොහැකි අගනා හක් බෙල්ලන් ඇතුළු  වටිනා  බෙලි කටු තුන්සිය  හැට පහක් නීති විරෝධී ලෙස  ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රපුරම් නුවර  බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද  අත් අඩංගුවට ගනු ලැබීය.

 සැකකරු හතලිස් හතර හැවිරිදි  ව්‍යාපාරිකයෙකි

ඔහු  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 161 දරණ යානයෙන් ත්‍රිවන්දන්පුරම් බලා යාමට  පැමිණ සිටියදී  අද  උදෑසන 7.45 ට පමණ අත් අඩංගුවට    ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් බෙල්ලන් අතර හක්ගෙඩි (හක් බෙල්ලන්) 60 සහ ජීවී ගතියෙන් යුතු  විවිධ වර්ගයේ විසිතුරු බෙලි කටු 305 ක් තිබූ බව රේගුව කියයි.

‍ධීවර හා ජලජ සම්පත් පනතින් මෙන්ම වෘක්ෂලතා හා වන ජීවී ආඥා පනතින් ද,  මෙම වර්ගයේ  බෙල්ලන් මෙරටින් අපනයනය  කිරීම  තහනම් කර ඇති  බව රේගුව කියයි.

සැකකරු මෙම බෙල්ලන් හම්බන්තොට, තංගල්ල ඇතුළු දිවයින විවිධ ප්‍රදේශ වලින් මහත් පරිශ්‍රමයක් දරා සොයාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා රේගුවට පවසා ඇත්තේ තමන් ධීවර කර්මාන්තය ආශ්‍රීත  ව්‍යාපාරයන්හි   නියුතු බැවින් මෙම හක් බෙල්ලන් ව්‍යාපාරික  වශයෙන් ඉන්දියාවට ගෙන යාමට ඇති හැකියාව සොයා බැලීමට මෙහි පැමිණි බවයි.

කෙසේ වෙතත්  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසුවේ  මෙම හක් බෙල්ලන් ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් ශ්‍රී ලාංකාවට ආවේනික මේ වන විට මෙරටින්  වඳ වී ගෙන යන විශේෂයක් බැවින්  රේගු පරික්ෂණයෙන් පසුව මෙම බෙල්ලන් මහ ජනතාවට බලාගත හැකි වන ලෙස රේගු කෞතුකාගාරයට බාර දීමට බලාපොරොත්තු වන බවයි.

ඉන්දියාවේ වන්දනාමාන, පුද පූජා කටයුතු සඳහා මෙම බෙල්ලන්  සිතු පැතූ මිළ ගණන් යටතේ අළවි කල හැකි බවත් රේගුව කියයි.

මේ පිළිබඳ රේගු පරික්ෂණය රේගු අධ්‍යක්ෂ රෝහිත උඩුවාවල මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබූ අතර වැඩිදුර විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන පරාක්‍රම බස්නායක, දර්ශණ සිල්වා, පී සත් කුමාර  යන මහත්වරුන්ගේ උපදෙස් මත රේගු අධිකාරී ටී. සුරවීර සහ  සහකාර රේගු අධ්කාරීවරුන් වන කිත්සිරි අතපත්තු, රවී සමරසිංහ යන නිලධාරීහු සිදු කරති.

 1

6 5 3 2