ඉන්දියන් රුපියල් හාර දහසකට පස්ස විකුණයි


ඉන්දියානු රුපියල් හාර දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත  තම ගුද මාර්ගයේ රන් කුටිටයක් සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතික තරුණයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදී  ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී  මහතා පැවසුවේය.

ත් අඩංගුවට ගනු ලැබූ රන් කුට්ටියේ බර ග‍්‍රෑම් දෙසිය හැත්තෑ දෙකක් වන අතර එහි වටිනාකම රුපියල් දහතුන් ලක්ෂ හැටදහසකි.

සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර තමිල්නාඩු ප‍්‍රාන්තයේ පදිංචි විසි හතර හැවිරිදි තරුණයෙකි.  ඔහු කුළියට භාන්ඩ ප‍්‍රවාහනයේ යෙදෙන්නෙකු බව රේගුව කියයි. ඔහු  පසුගිය 13 වෙනිදා ඉන්දියාවේ  සිට මෙරටට පැමිණ ඇති බවත් නිතර  නිතර තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර මුදල් කොන්ත‍්‍රාත් මත භාන්ඩ ප‍්‍රවාහනයේ යෙදී ඇති බව රේගුව අනාවරණය කර ගෙන ඇත.

පිටකොටුවේ හෙට්ටි වීදියේ ව්‍යාපාරිකයෙකු  විසින් මෙම රන්කුටිටිය ඉන්දියාවේ චෙන්නායි  නුවර වෙත ගෙන යාමට තමාට ලබා දුන් බවත් චෙන්නායි ගුවන්තොටුපොළේදී එම ව්‍යාපාරිකයා හෝ වෙනත් අයෙකු  එය ආපසු ලබා ගැනීම සඳහා පැමිණෙන බව එම ව්‍යාපාරිකයා තමාට දැන්වූ බවත් සැකකරු රේගුවට පවසා ඇත.

තමන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පිටත වැසිකිලියකට ගොස් මෙම රන් කුටිටිය ගුදයේ දමාගත් බවත් එය ඉතා වේදනාකාරී අත්දැකීමක් වූ බවත් එම අවස්ථාවේ තම දෙනෙතට කඳුළු පවා පැමිණි බවත් ඔහු රේගුවට පවසා ඇත.

මෙලෙස ගෙන යද්දී ගුවන් යානයේදී කෑමක් බීමක් පවා  නොගන්නා බවත් තමන් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඔහු රේගුවට පවසා ඇත.

පසුගිය  සති දෙකේදී පමණක් මේ අයුරින් රන් කැබලි ප‍්‍රවාහනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 7 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බැවින් හා සුළු ලාබයකට තම ජීවිතය අවදානමකට ලක්කර මෙවන් වේදනාකාරී ක‍්‍රියාවෙන් කරන්නේ ඇයි දැයි  අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා විසින් සැකකරුගෙන්  ප‍්‍රශ්ණ කර ඇත.

එහිදී සැකකරු පවසා ඇත්තේ ඔහු  නිතර නිතර විදේශයන්ට යන එන බැවින් කිලෝග‍්‍රෑම් පනහක බර ප‍්‍රමාණයක් ගෙන යා හැකි පහසුකම ඔහුට ලැබී ඇති බැවින් විවිධ පුද්ගලයින්  ලබා දෙන  භාන්ඩ කුළී පදනම මත ඒ ඒ රටවලට ගෙන ගොස් කුලිය ලබා ගන්නා බවයි. මේ සෑම ගමන්වාරයකදී විස්කි බොතල් හයක්ද  රැගෙන ගොස් එයද විකුනා මුදල් ලබාගන්නා  බව ඔහු රේගුවට පවසා ඇත.

මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඊ.ඒ රත්නශීල මහතා විසින් සැකකරුට රුපියල් තිස්දහසක දඩයක් නියම කොට එම රන් කුට්ටිය රාජ සන්තක කළේය.


මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  උපදෙස්  මත  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඊ.ඒ රත්නශීල මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී රෝහණ සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන්  සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.එස් අබේධීර, චන්දිම කරුණාරත්න, කේ.පී.ජී.එස්.සී ලොකු ගම, සී කොටැඹගේ, කේ.සී.පී කුමාර, එම්.ආර්.ඩබ්ලිව් කුමාර, ඩබ්ලිව්.එම්.එස්.ඒ  ප‍්‍රියදර්ශන  යන රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලැබූහ.