(විමුක්ති එස් රුද්‍රිගු)
ඉදිරි දශකය තුළදී ලක්ෂ 10 ක පිරිසක් මෙරට ශ්‍රම බළකායට අවතීර්ණවීමට නියමිතව තිබුණත් ඉදිරි දශකයේදී මෙරට රැකියා උත්පාදනය වන්නේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් රැකියා උත්පාදනයට පුද්ගලික අංශයේ වර්ධනය අත්‍යාවශ්‍ය කරුණක් බවද ඔහු පැවැසුවේය. ලංකාව පුරා තිබෙන රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමටත්, සේවා ලබාදීම් පුළුල් කිරීමටත්, තරඟකාරිත්වය ශක්තිමත් කර ගැනීමටත්, පුද්ගලික ප්‍රාග්ධනය මෙරටට අද්දවා ගැනීමටත් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනු ඇතැයි උප සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසීමට ලැබීම සහ මෙරට ආර්ථික වර්ධනය පිළිබඳ රජයේ දැක්ම දැන ගැනීමට ලැබීම තමන් ලද ගෞවරයක් බවයි. මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පදනම ශ්‍රී ලංකාව දමා අවසන් බවද උප සභාපතිවරයා පැවැසුවේය. ශ්‍රී ලංකාව දැන් රැකියා උත්පාදනය, ආයෝජන සහ සියලු අංශයන්ගේ සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව දැන් අවධානය යොමු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය බලමුලු ගැන්වීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ මෙම ගමනට සහාය ලබාදීමට ලෝක බැංකුව සූදානම් බවද සට් මහතා පැවැසුවේය.
සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා මෙම අදහස් පළ කළේය.
ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා ඔහුගේ ප්‍රථම ශ්‍රී ලංකා නිල සංචාරය පෙරේදා(15) අවසන් කළ බව ලෝක බැංකු සමූහය ප්‍රකාශ කළේය.
සට් මහතාගේ දෙදින නිල සංචාරයේදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් කීපදෙනකු මුණ ගැසුණු බව ලෝක බැංකුව පැවැසුවේය.
ශ්‍රී ලංකාවට ඉදිරි වසර තුනේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය සහායක් ලබාදීමට එකඟතාවයක් ඇති කරගත් පසුගිය මැයි මාසයේ ලෝක බැංකු සභාපති අජේ බංගා සිදුකළ මෙරට සංචාරය මත පදනම්ව උප සභාපතිවරයා මෙරට සංචාරය සිදුකළ බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. එතැන් සිට ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමග හවුල්කාරීත්වයෙන් වැඩ සටහන් දෙකක් ආරම්භ කර තිබෙන බවද ලෝක බැංකුව පැවැසුවේය.
එලෙස දෙපාර්ශ්වයේ හවුල්කාරිත්වයෙන් පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක් සහ කෘෂිකර්ම ව්‍යාපෘතියක් ආරම්භවූ බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් පමණ වන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
එසේම ඉදිරි වසර සඳහා සංචාරක ක්ෂේත්‍රය, උතුරු සහ නැගෙනහිර පළාත පිළිබඳව අවධානය යොමු කරමින් පළාත් සංවර්ධනය, ඩිජිටල් සංවර්ධනය, වරාය සහ භාණ්ඩ ප්‍රවාහනය යන අංශයන්හි අමතර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ලෝක බැංකුව පැවැසුවේය.
ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර පැවැති හමුවේදී උප සභාපතිවරයා ශ්‍රී ලංකාව අසීරුවෙන් ළඟා කරගත් ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ජනපතිවරයාට ප්‍රශංසා කර ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. එසේම මෙරට ප්‍රධාන අංශ නවීකරණය කිරීමටත්, මෙරටට ආයෝජන අද්දවා ගැනීමටත්, රැකියා උත්පාදනය කිරීමටත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැමවිටම ලෝක බැංකුවේ සහාය හිමිවන බවට සහතිකයක්ද උප සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදී තිබෙන බව ලෝක බැංකුව පැවැසුවේය.