ඉතිරි කරන ලද විධායක බලතල තවදුරටත් තබා ගත යුතුයි


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉතිරි කරන ලද විධායක බලතල තවදුරටත් තබා ගත යුතුයි යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (31) පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි පසුගිය දිනෙක වාර්තා විය.

ශ්‍රේෂ්ඨාධිකරණය දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන ලද්දේ විධායක ජනාධිපතිධුරය තිබෙන බව සඳහන් කරමින් බවත් එම නිසා දැනට ඉතිරි විධායක බලතල තබා ගත යුතුයි යන මතයේ සිටින බව ද අමාත්‍ය එස්.බී දිසානායක මහතා කීවේය.

බත්තරමුල්ල, සෙත්සිරිපාය සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙම කරුණු කීය.