ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වෘත්තීයවේදියකු ඉල්ලති


ඉතාලියේ අගනුවර වන රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නව තානාපති වශයෙන් වෘත්තියවේදියෙකු පත්කර එවන මෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලංකිකයෝ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති. වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරු ලබාගැනීම සඳහා හදිසියේ කරළියට පැමිණි පිරිසක් වෙර දරමින් සිටින බැවින් ඔවුහු මෙම ඉල්ලීම කරති.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලට රිංගා ගැනීමට උත්සාහ කරන අයගේ අරමුණ වී ඇත්තේ තම ජාවාරම් කරගෙන යාමට බවත්, මුදල් පලහිලව්වක් නිසා එංගලන්තයේදී අසාදු ලේඛනගතවූ තැනැත්තියක්  තමාට නැති සුදුසුකම් මවා පාමින් තනාපති කාර්යාලයේ ඉහළ තනතුරකට ඇස ගසාගෙන සිටින බවත් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියති.

තානාපතිවරයෙකුගෙන් සිදුවියයුතු සේවාවන් ගැන හාංකවිසියක වැටහීමක් නැති මෙම පිරිසේ අරමුණ මුදල් යටි මඩි ගසා ගැනීම බවත් ඔව්හු කියති. යුද්ධය පැවැති සමයේදී ශ්‍රී ලාංකික රණවිරුවන් වෙනුවෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයන් සද්භාවයෙන් එකතුකර දුන් යුරෝ ලක්ෂ ගණනක මුදලක් තානාපති කාර්යාලයේ සිටි අයකු  යටිමඩි ගසාගත් අකාරය තමන්ට  අමතක නැති බවත් ඔව්හු කියති.

එබැවින් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවගේ යහපත උදෙසා කටයුතු කළහැකි වෘත්තීයවේදියෙකු ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත්කර එවන ලෙස ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.