ඉතාලියේ මහා හොරකම


ඉතාලි ධන කුවේරයකුගෙන් රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනා යුරෝ 250000ක් සොරකම් කර ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන නඩුවේ විත්තිකරුගේ දේපළ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමට මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අවසර දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරයකුට අවසර නැතැයි විත්තිකරුගේ නීතීඥවරුන් විසින් ගෙන ආ විරෝධතාවය විනිසුරුවරයා විසින් ඉවත දැමීය.

සැකකරු පැමිණිලිකරුගේ යුරෝ 250000ක් සමග රන්මදු, මාල, වටිනා රොලෙක්ස් ඔහරලෝසුවක්, යතුරු කැරැල්ලක් ආදිය රැගෙන පැමිණ ඇති බවත්, පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ ඩී එම් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත තමන් පෙනී සිටින බවත් මෙහිදී නීතීඥ පී ඩී කුලතිලක මහතා කරුණු දැක්වීය.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පමණ ඉතාලි ජාතික අයිවන් ලෝසියෝ ව්‍යාපාරිකයා ළඟ සේවය කරමින් සිටියදී මෙම භාණ්ඩ රැගෙන ශ්‍රී ලංකාවට පලාගිය බවට නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබිණි.

මාරවිල පොලීසිය කලහ ලොකුගේ හරීන්ද්‍ර, බන්දුල හරේන්ද්‍ර විජේසිංහ, ජයලත් ගෝඨාභය වික්‍රමසිංහ ආදී නම් වලින් පෙනී සිටි පුද්ගලයකු 2012.10.21 දින අත්අඩංගුවට ගෙන කූඨ ලෙඛන සෑදීම සහ ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබිණි.

පොලිස් පරීක්ෂක සෝමපාල මහතා උසාවියෙන් ඉල්ලා සිටි පරිදි මොහුගේ බැංකු ගිණුම් වාර්තා, රේගු සහ දේපළ තොරතුරු ලබාගැනීමට උසාවි අවසර ලැබිණි. මොහු විදේශ ගමන් බලපත්‍ර හතරක් සහ ජාතික හැදුණුම්පත් තුනක් භිවිත කළ බව මීට පෙර වාර්තා වී තිබිණි.

අදාල වාර්තා ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය.