ඉතාලියෙන් ලංකා පොලීසියට යෝජනාවක්


ශ්‍රී ලංකාවේ මාර්ග නිතියක් කඩ වු පසු දඩය ගෙවා රිසිට් පත පොලිසියට රැගෙන එන තෙක් රියදුරු බලපත්‍රය පොලිසිය සන්තකයේ තබා ගැනිම තමන්ගේ කාලය කා දැමිමක් බව බොහෝ පිරිස් පවසති.

 ඉතාලියේ පාදෝවා නුවර වෙළද ව්‍යාපාරිකයකු වන සපරමාදු මහතා මසකට වතාවක් තම වෙළද කටයුතු වෙනුවෙන් ශ්‍රි ලංකාවට පැමිණෙන්නෙකි. ඔහු කියනුයේ මෙවන් අදහසකි. මම පදිංචි මහරගම.

පසුගිය දවසක මම කතරගම ගියා. නැවත පැමිණෙනකොට සුළු වරදකට මාව කතරගම පොලිසියෙන් ඇල්ලුවා. ඒ වනකොට වේලාව සවස 5 යි. දඩ කොළය ගෙවා රිසිට් පත අරන් එන්න කියලා පොලිස් රාලහාමිලා මට කිවුවා. ඒ වනවිට තැපැල් කන්තෝරු වහලා. මම එදා දවසත් කතරගම නැවතිලා ඊට පහුවදා දඩ කොලය ගෙවලා රියදුරු බලපත්‍රය අරගෙනයි කොළඹ ආවේ.

එදා රෑ ගුවන් තොටුපළට යන්න මට තිබුණේ පොඩි වෙලාවයි. මේ ක්‍රමය මහා යල් පැන ගිය ක්‍රමයක්. නවීන තාක්ෂණයත් එක්ක මෙයට වඩා හොද ක්‍රමයක් හදුන්වා දෙන්න බලධාරින්ට පුළුවන් වෙන්න ඕන. රාලහාමිගේ සාක්කුවේ දාගෙන හිටපු මගෙ ලයිසන් එක ගන්න මම දවසක් වැය කරන්න සිදු වුණා.

 පගාව දෙන්න මිනිස්සු පෙළඹෙන්නේ මේ නිසා. මැති ඇමැතිවරුන් කියන්නේ ලෝකේ අලුත් දේ අපේ රටට හදුන්වා දෙනවා කියලයි. මේ ක්‍රමය ලෝකේ කොහෙවත් නැතුව ඇති. යුරෝපයේ නැහැ.

නැගෙනහිර යුරොපයේ දුප්පත් රටව්වලත් මේ වගේ ක්‍රමයක් නැහැ. මා සමග වෙළද කටයුතු කරන අප්‍රිකාවේ මගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් මම මේ පිලිබදව සොයා බැලුවා ඔවුන්ගේ රටවලත් මේ විදියේ ක්‍රමයක් නැහැ. පුලුවන්නම් ලංකාදිපෙන් බලධාරින්ගේ ඇස මේ සදහා යොමු කරන්න. ඒක ලොකු දෙයක්.