ඉතාලියේ ධර්ම දූත මෙහෙවරට වැඩම කරන ශ්‍රී ලංකා භික්ෂූනට පූජක වීසා ලබා දිය හැකිදැයි සොයා බලන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
දැනට ඉතාලි ගොස් සිටින බොහෝ හිමිවරුන් ගෘහ සේවකයන් වශයෙන් වීසා ලබා ගෙන ඇති බවත්, එය භික්ෂූන් වහන්සේනමකට නොගැලපෙන බවත්, කතෝලික පූජකවරුන් සිය පදවියේ ගෞරවය රැකගෙන පූජක වීසා මත සීමාසහිත කාලයකට ඉතාලියට යන බවත් දැනගන්නට ඇත.
ගෘහ සේවකයන් ලෙස ධර්ම ප්‍රචාරයට යන භික්ෂූන් වහන්සේ ඉතාලියේ රැඳීසිටීමට හැකි වනුයේ හාම්පුතා වන ගෙහිමියාගේ හා ඉතාලි රජය වරින් වර ප්‍රකාශයට පත් කරන සහන අනුග්‍රහය මත පමණක් බවත් එහි සිටින ශ්‍රී ලාංකිකයෝ කියති.
පිළිගත් සංවිධානයකින් ධර්මදූත සේවයට යන බවට සහතිකයක් සමග ඉදිරිපත් කරන ලියැවිලි ගැන කොළඹ ඉතාලි තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා භික්ෂූන් හට පූජක වීසා ලබා දීමට උත්සාහ ගන්නා බව ද, මෙවැනි තත්ත්වයක් ඇති බව දැනගත්තේ ‘එසැණ‘ ඒ ගැන විමසූ විට බව ද අමුණුගම මහතා පැවසීය.