රැකියාව සඳහා ඉතාලියට පැමිණි විදේශිකයන්ගෙන් සියයට දාහතක් පසුගිය වසරේ බලාපොරොත්තු සුන් වී නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති බව ඉතාලි රජය පවසයි. කඩා වැටුණු ආර්ථිකයත් සමග 2012දී රැකියා නියුක්තිකයන්ගෙන් සියයට තිස් හතකට රැකියා අහිමි විය.
ඉතාලි ජාතික තරුණ තරුණියන් විශාල වශයෙන් රැකියා සඳහා විදේශ ගතවන බවත් විශ්‍රාමිකයන් ද තම වැටුපෙන් ඉතාලියේ ජීවත් වීමට නොහැකිව ටියුනීසියාව වැනි උතුරු අප්‍රිකා රටවලට යෑමට පටන් ගෙන ඇති බවත් ඉතාලි මාධ්‍ය පවසයි. පෙබරවාරි 24 වැනිදා පැවැත්වීමට නියමිත ඉතාලි මහ මැතිවරණය සඳහා නැවත වතාවක් ඉදිරිපත්ව සිටින හිටපු අග්‍රමාත්‍ය සිල්වීයෝ බෙරුලුස්කෝනිගේ ඡන්ද පොරොන්දු ඉටු කළ නොහැකි බව ඉතාලි ජාතිකයෝ පවසති. වාමාංශික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින පෙර් ලුයිජි බෙර්සානිට වැඩි වාසි පවතින බව මැතිවරණ සමීක්ෂකයෝ කියති.
ඉතාලියේ ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකිකයෝ නීත්‍යනුකූලව පදිංචිව සිටිති.