ඉඩම් ලියාපදිංචියට කොළඹ සරසවියෙන් මෘදුකාංගයක්


ඉඩම් ලියාපදිංචි කිරීම හා ඊට අයත් ක්‍රියාවලිය ක්ෂණිකව පරිගණකයෙන් කර ගැනීමට හැකියාව සලසා දෙන හිමිකම් ලියාපදිංචි කිරීමේ මෘදුකාංගයක්  සකස් කිරීමට  කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යන ආයතනයේ මෘදුකාංග සංවර්ධන ඒකකය සමත් වූ බව එහි අංශ ප්‍රධානී හර්ෂ විජයවර්ධන මහතා පැවසීය.

එසේ සකස් කළ පද්ධතිය ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට භාර දුන් බවත් විජයවර්ධන මහතා කීවේය.

සිංහල, දෙමළ, ඉංග්‍රිසි භාෂා තුනෙන්ම මෙම පද්ධතිය සමන්විතය.

හිමිකම් සහතිකය මුද්‍රණය කිරීමටවත් මෙමගින් හැකියාව ලැබීම විශේෂත්වයකි.

හිමිකම් ලියාපදිංචියට අමතරව ඉඩම් පැවරීම, උකස් කිරීම, කොටස් කර විකිණිම, ඉඩමේ මුල් අයිතිකරු ඇතුළුව ඉඩමේ ඉතිහාසය යන මේ සතුටට කාරණාවක්ම ක්ෂණිකව ලබා ගැනීමට මෙම පද්ධතියෙන් හැකියාව සැලසෙයි.

මේ මෘදුකාංගය නිසා ඉඩම් සම්බන්ධ තොරතුරු දැනගැනීමට දීර්ඝ කාලයක් ගතවීම නැත්තට නැති කිරීමට හැකි වෙතියි. විජයවර්ධන මහතා කීවේය.

කන්තෝරු බැලීම, පත් ඉරු ගැනීම වැනි කාලය වැය වන දේ ක්ෂණික පිළිතුරු පද්ධතියේ ලබාගත හැකිවීමද විශේෂත්වයකි.

තොරතුරු හා සන්නිවේදන නියෝජන ආයතනයෙන් සංවිධානය කරන ලද ‘ස්වාභිමාන සම්මාන‘ උළෙලේදී මෙම නිර්මාණයට විශිෂ්ඨ කුසලතා සහතිකයක් හිමිවිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාගේ මඟපෙන්වීම යටතේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරු දිනුෂ අමරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ව්‍යාපෘති නිලධාරී ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු සමීර කොඩිතුවක්කු මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවන් වන සුපුන් බණ්ඩාර, දුලංජන් ගුණසේකර, රුවන්ති වර්ණසූරිය මහත්ම මහත්මීහු පද්ධතිය නිර්මාණයට දායක වූහ.