
(ආරියරත්න රණබාහු)
අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයෙන් තමන්ගේ නම් ඉවත් කර ඇති බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) දිනයේ උද්ඝෝෂණ විරෝධතා සහ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට නොසන්සුන් වාතාවරණ ඇති වී තිබිණි.
දිළිඳු පවුල් සඳහා රජයේ ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට මෙම අස්වැසුම සුබසාධන වැඩසටහනට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙසේ විරෝධතා එල්ල වූයේ සහන ලැබිය යුතු පුද්ගලයන් අස්වැසුම ලැයිස්තුවට ඇතුළත් නොකර නුසුදුසු පුද්ගලයන්ගේ නම් එම ලැයිස්තුවලට එක් කර ඇති බව කියමිනි.
මෙසේ විරෝධතා උද්ඝෝෂණ පැවැති ප්‍රදේශ අතර වවුනියාව, වාරියපොල, වෙන්නප්පුව, මිල්ලනිය, නිකවැරටිය, මිහින්තලේ, දිඹුලාගල, මීරිගම, කරන්දෙණිය, දෙහිවල, කන්තලේ, බියගම, හසලක සහ බුලත්සිංහල ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විය.
වවුනියාව දිස්ත්‍රික්කයේ අස්වැසුම අහිමි වූ පිරිස යාපනය නුවර ඒ-9 මාර්ගය අවහිර කර සිය විරෝධතාව දැක් වූහ.
ඔවුන් පැය දෙකකට අධික කාලයක් එම මාර්ගය අවහිර කර සිටි අතර ඒ හේතුවෙන් රථවාහන ධාවනයට දැඩි බාධා ඇති විය.
එම විරෝධතාකරුවන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ද හමු වූ අතර දිස්ත්‍රික් ලේකම්වරයා දැක්වූ අදහස්වලින් පසුව මොවුහු විරෝධතාව අවසන් කළහ.
වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල විරෝධතා දැක්වූ පිරිස් කියා සිටියේ සමෘද්ධි ආධාර ලැබූ දහසක පමණ පිරිසක් මෙම නව ක්‍රමය යටතේ කපා දමා ඇති බවය.
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 42ක පිරිසක් අභියාචනා ලිපි බාරදීම සඳහා පැමිණ සිටි අතර එම ජනතාව පාලනය කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 56ක 2500කට ආසන්න පිරිසක් පොලොන්නරුව මඩකලපුව සහ පොලොන්නරුව මහියංගන ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවේ නිරත වූහ.
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවෝ පිරිසක් එම ලේකම් කාර්යාලය අසල ගාලු පාරේ විරෝධතාවක නිරත වූහ.
පසුබිම් වාර්තා
මඩුකන්ද සිතුම් චතුරංග, වාරියපොල රවින්ද්‍ර ප්‍රභාත් වීරසිංහ, නිකවැරටිය ප්‍රියාණි මංගලිකා, අනුරාධපුර විශේෂ බී.ජී. චතුරංග, වෙන්නප්පුව රවින්ද්‍ර ලියනගේ, මනම්පිටිය නිමල් ජයරත්න, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත, මීරිගම විශේෂ පුෂ්ප කුමාර මල්ලවාරච්චි, දෙහිවල එච්.එම්. ධර්මපාල












