ඇවිදින්න බැරි හේතුව රේගුව සොයා ගනී


රුපියල් විසි හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් කැබලි හයක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අළුයම අත්අඩංගුවට ගත් බව  රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි. ඔහු රන් කැබිලි තුන බැගින් කොටස් දෙකක් වන සේ ගම් ටේප් පටිවලින් ඔතා  ගුද මාර්ගයේ සගවා තිබූ බව රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් පන්සිය පනහකි.

සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත සහකාර රේගු අධිකාරී අසංග පෙරේරා විසින් සැකකරුව පරීක්ෂා කර පසුව එක්ස් කිරණ පරික්ෂනයකට භාජනය කොට මෙම රන් කැබලි හය ඉවතට ගෙන ඇත.

සැකකරු අද අළුයම  එකට පමන ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබිලිව් 252 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති බව රේගුව කියයි.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සැකකරුට රුපියල් පනස්දහසක දඩයක් නියම කොට එම රන් කැබලි රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ. ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන්  රේගු අධිකාරී පරාක‍්‍රම ජිනදාස, සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ඒ.ඞී.පී පෙරේරා, අසංග පෙරේරා, තුසිත අධිකාරම්, කසුන් ගමගේ, නිෂාද් රණසිංහ, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කරති.