ඇවන්ගාර්ඩ් සභාපතිගේ ඉල්ලීම ආරක්ෂක ලේකම්ට


ගාලු වරායේ පාවෙන නැවේ අවි ගබඩාව සම්බන්ධ සැකකරුවකුවන ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සේවා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් එච්.එන්.යාපා සේනාධිපති ව්‍යපාරික කටයුතු සඳහා යළි නයිජීරියාවට යාමට විරෝධය දක්වන බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය නීතිපති උපදෙස් පතා ඇතැයිද අවි නැවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් නැති නිසා ඔහුගේ ඉල්ලීමට විරුද්ධ වන්නේ යැයිද රහස් පොලිසිය කියා සිටී.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ දුමින්ද වීරසූරිය මහතා පැවසූයේ ඔහු නයිජීරියාවට ගිය ගමනේ ව්‍යාපාරික කටයුතු අවසන් කිරීමට නොහැකිවූ නමුත් උසාවියට ගරු කරමින් ඔහු යළිත් සියරට පැමිණි බවයි.

විදේශ අමාත්‍යංශය හා ආරක්ෂක ලේකම් සමඟ සාකච්ඡා කර එහි ප්‍රතිඵලය අධිකරණයට දන්වන්නැයි මහේස්ත්‍රාත් සේනාධිපතිට නියෝග කළේය.