ඇවන් ගාර්ඩ් ලොක්කාට රට යන්න බෑ


ඇවන් ගාර්ඩ් සමුද්‍රාරක්ෂක ආයතනයේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝගයක් නිකුත් කර ඇත.

ගිනි අවි හා උණ්ඩ ගබඩා කර තිබූ කන්ටේනර 22ක් වරායේ බත්තලකින්ද, වරාය භූමියේ තිබූ ගොඩනැගිල්ලක තවත් කන්ටේනර 6 ක අවි සොයාගත් බවද පොලිසිය කියයි. එම කන්ටේනරවලින් නවීනතම අවි 3154 ක් හා උණ්ඩ 745859ක්ද සොයා ගත් බව රහස් පොලිසිය පවසයි.

ඇවන් ගාර්ඩ් සමාගම ආරක්ෂක අංශයේ ලියාපදිංචි ආයතනයක් බව එහි සභාපති පැවසීයැයිද ශ්‍රී ලංකාවට යාත්‍රා කරන නැව්වල අවි භාරගැනීමට තම සමාගමට අවසර දී ඇතැයිද එම නැව් ආපසු යන විට එම අවි බාරදෙන බවද සභාපති කියා ඇත. 2010 සිට තම සමාගම මෙම කටයුතු කරන බවත් එයින් ලැබෙන ආදායම ආරක්ෂක හේතු මත හෙළි කළ නොහැකි බවත් පසුගිය දෙවසරේදී උපයාගත් රුපියල් ලක්ෂ 30 ක ආදායම අප සමාගමත් ආරක්ෂක අමාත්‍යංශයත් අතර බෙදා ගත් බවද ඔහු කීවේය.

ඔහු රහස් පොලිසියට අවශ්‍යවන නිසා රටින් පිටවීමට ඉඩ නොදෙන්නැයිද කවර පදනමක් මත ඔවුනට බලපත්‍රය නිකුත් කළේද ලාබ වශයෙන් උපයාගත් මුදල් කවර ගිණුමක තැන්පත් කර ඇතිද යන්න සොයන බව රහස් පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.