ඇඹිලිපිටියෙන් අයිතිවාසිකම් පෙත්සම් 4ක්


ඇඹිලිපිටිය නගරයේ පසුගිය 4 වැනිදා සාදයකදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පීඩාවට පත්වූවෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(02) මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනු කළහ.

ඒ අනුව මෙම ගැටුමේදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ තම සැමියා කෘෘර ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මීට අමතරව මෙම සිදුවීමේදී පොලිස් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ ලසන්ත හා වසන්ත යන දෙදෙනා වෙනුවෙන් ලක්ෂ 30 බැගින් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද, එසේම සාදය පැවති නිවසට හා ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන්ද තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, නීතිපතිවරයා, සහකාර පොලිස් අධිකාරි බී.ඩබ්.සී ධර්මරත්න, මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ආර් ජිනේන්ද්‍ර ඩයස්, රාජපක්ෂ(පො.ප), ජිනදාස(පො.සැ), ශාන්ත(පො.කො), සාරංග(පො.කො), ජයලත්(පො.කො), බන්දුසේන(පො.කො) යන අය නම්කරනු ලැබ සිටිති.