ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් කළ සැකකරුවන් තංගල්ල හා කුරුවිට බන්ධනාගාරවල සිටින බවත් එහෙයින් ඔහුගේ ආරක්ෂාව ගැන අධිකරණය දැඩි අවධානය යොමු කරන බවත් ඔහුගේ නීතිඥවරු කීහ.
ඔහු යැවෙන සිරගෙදර කුමක්දැයි තීරණය කිරීම බන්ධනාගාර කොමසාරිස් සතු කාර්යයක් බවත් අධිකරණයේදී මතු කළ ප්‍රශ්න ඔහුගේ අවධානයට යොමු කරන බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
සුමිත් ප්‍රසන්න මිය ගිය ස්ථානයේ සීසීටීවී ආරක්ෂක කැමරා, ඡායාරූප හා වීඩියෝ කොළඹ විශ්ව විද්‍යාලයට යවා වාර්තාවක් ලබාගැනීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.
ප්‍රසන්න මිය ගිය ස්ථානයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ 17 ක් රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය. පොලිසිය අධිකරණය අවට ආරක්ෂාව තර කර තිබිණි. සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මාධ්‍ය ඡායාරූප ශිල්පීන් මගහැර වෙනත් දොරටුවකින් අධිකරණයට ඇතුළු විය.
මේ අතර ප්‍රසන්නගේ මරණ පරීක්ෂණය අද සවස කැඳවීමට නියමිතය.
ඡායාරූප - ලහිරු හර්ෂණ






