ඇඹිලිපිටි මරණ පරීක්ෂණය අවසන්


ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන පසුගිය ජනවාරි 4 වැනිදා ගොඩනැගිල්ලකින් වැටී මිය යාම සම්බන්ධ මරණ පරීක්ෂණය අද (3) අවසන් කළ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබන 1 වැනිදා ඉදිරිපත් කරන ලෙස රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයාට නියෝග කළේය.

අද සිව්දෙනෙක් සාක්කි දුන්හ. මිය ගිය ජයවර්ධනගේ මස්සිනා කෙනකු වන ජී.කේ.විමලසිරි පැවසූයේ සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න, මරණකරු දෙවැනි මහළින් තල්ලු කරනු තමා දුටු බවයි. පොලිසිය එහි පැමිණ සාදයට හවුල්වූ අයට පහර දෙද්දී තමා මේසයක් යට සැඟවී සිටි බවද ඔහු කීවේය.

ජයවර්ධනගේ මව ජී.කේ.ගුණවතී, ව්‍යාපාරික සංජීව රාජපක්ෂ, සර්ටීස් ආයතනයේ ආර්.බී.ජී ජයන්තද සාක්කි දුන්හ. නීතිඥ විජිත පුංචිහේවා මහතාගේ උපදෙස් මත ජයවර්ධන ගේ බිරිය ශෂිකා නිශාමනී රණසිංහගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසූයේ මරණකරුගේ බිරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනතුරු සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට නොගත් බවයි.

ලබන නඩු වාරයට පෙර මේ සිද්ධියට හවුල් ඇඹිලිපිටි පොලිසියේ මූලස්ථාන පරීක්ෂක හා සෙසු පොලිස් සාමාජිකයන් අත්අඩංගුවට ගන්නැයිද ඔහු කියා සිටියේය. රහස් පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

රජයේ නීතිඥ දිලීප පීරිස් මහතාද අධිකරණයට සහාය විය.

නීතිවේදී විජිත පුංචිහේවා මහතා අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මරණකරුගේ බිරියට හා දරුවාට මරණ තර්ජන එල්ල කළැයි කියන මාධ්‍යවේදිනියක ද වන ව්‍යාපාරික කාන්තාවක බව කියන තැනැත්තිය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

12659574_867151932016234283_n 12660324_8671520201623_n

ඡායාරූප - ලහිරු හර්ෂණ