ඇමෙරිකා ස්ථාවරයේ වෙනසක් නෑ


ඇමරිකාවේ සහය ශී‍්‍ර ලංකාවට ලැබීමට නම් රටේ ජීවත්වන විවිධ ජනකොටස් වලට අයත් ජනතාවට සාමකාමිව ජීවත්විය හැකි දේශපාලනමය මෙන්ම නෛතික වටපිටාවක් ඇති කිරීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කළ යුතුව ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා අතර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අතරතුරදී පැවැති කෙටි සාකච්ඡාවක් පිළිඹදව කරුණු දක්වා නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

සාකච්ඡාවේදී ශී‍්‍ර ලංකාවේ ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි අවධානයෙන් සිටින බවත් ඒවා විසඳා ගන්නා තෙක් ඇමෙරිකාව ශී‍්‍ර ලංකාවට දක්වන දැඩි පිළිවෙත වෙනස් කර නොගන්නා බවත් රාජ්‍ය ලේකම්වරයා ජනපතිවරයාට අවධාරණය කළ බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ගැටළු වලට නිසි විසඳුම් ලැබුණු වහාම ශී‍්‍ර ලංකාව හා සබඳතා හැකි උපරිමය දක්වා වර්ධනය කර ගැනීමට ඇමෙරිකාව අපේක්ෂාවෙන් සිටී.