ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය හෙට දිවයිනට


(තිළිණි ද සිල්වා)

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප‍්‍රධාන සහකාර ලේකම් අලිස් වෙලස් මහත්මිය මෙරට නිල සංචාරයක් සඳහා හෙට (09) දිවයිනට පැමිණෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාවයන් ශක්තිමත් කිරීම හා ඉන්දු ‐ ෆැසිෆික් කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කර ගැනීමේ අරමුණෙන් ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

මෙම ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්හූ රැසක් හමුවී මෙරට ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ , මානව අයිතිවාසිකම් , සංහිඳියාව හා වගවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

සිය ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය මාලදිවයිනේද සංචාරය කරන අතර එම සංචාරයේ ඇය ළඟදී තේරීපත් මාලදිවයින ජනාධිපතිවරයා සහ මාලදිවයිනේ සිවිල් නායකයින් පිරිසක්ද හමුවීමට නියමිතව ඇත.