ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී 22 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඇමෙරිකාවෙන් බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිතය. එදිනම ඡන්ද විමසීමට ද නියමිතය.
ශ්‍රී ලංකාව ඊට එරෙහිවන බව ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිත ඇමැති මහින්ද සමරසිංහ කියයි.
විසි දෙවැනි සැසිය අමතමින් ඔහු කීවේ ශ්‍රී ලංකාවට සපයන තාක්ෂණික අධාර ගැන සොයා බැලීමට ආ මානවහිමිකම් නිලධරයන් පිරිසක් ඔවුන්ගේ ඉම ඉක්මවා ගොස් ඉදිරිපත් කළ වාර්තාවක් පදනම් කරගෙන ඇමෙරිකා යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
වාර්තා දෙකේ ලේඛන ශෛලියෙන් ද ඒ බව පෙනෙතියි ද, එම වාර්තාව වැරදි හා දුර්මත බහුල බවත්, මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට එම කමිටුවට බලයක් හෝ නීතිමය ඉඩකඩක් නැතැයිද එහෙයින් විශේෂඥයන්ගේ උපදේශක කමිටු වාර්තාව ශ්‍රී ලංකා රජය නොපිළිගන්නේයැයි ද සමරසිංහ මහතා 22 වැනි සැසිය අමතමින් කියා සිටියේය.
ශ්‍රී ලංකාව කිසි විටකත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කිසිවක් වසන් නොකළ බවත්, හැමවිට සහයෝගය දැක්වූ බවත් පැවසූ සමරසිංහ මහතා වත්මන් කමිසුරුවරියට ශ්‍රී ලංකාවට එන ලෙස 2011 අප්‍රේල් මාසයේ සිට ඇරයුම් කර ඇති බවත්, මෑතදී ඇයට දකුණු ආසියාවට පැමිණිමට ඉඩකඩ තුබූ නමුත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ නොතිබූ බවත් කියා සිටියේය.
දෝෂ සහිත සහ වරදවා වටහාත් ලියැවිලි මත ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිදුර ක්‍රියා කිරීමට ගන්නා හැම උත්සාහයකට එරෙහිවම විරුද්ධ වන බවත් එවැනි අභූත චෝදනා මත ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීමෙන් පූර්වාදර්ශයක් ඇති නොකරන ලෙස මානව හිමිකම් කවුන්සලයෙන් ඔහු ඉල්ලා සිටියේය.