ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වැඩපිළිවෙළ මානව හිමිකම් ප්‍රශ්නය උඩ කිසිසේත්ම වෙනස් නොවන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවට දෙන ඇමෙරිකා ආධාර යොදා ගැනෙන්නේ යුද්ධය පැවතී ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා එම ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සපයාදීම බව ඇමෙරිකාව පවසයි.
මෙම ආධාර වැඩපිළිවෙළ යටතේ දැනට උතුර නැගෙනහිර දැවැන්ත ව්‍යාපෘති විශාල ගණනක් ක්‍රියාත්මක වෙයි.
මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව මුහුණ දෙන ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩකටයුතු සහ ශ්‍රී ලංකාවේ ඇතැයි සමහරදෙනා චෝදනා කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම අතර සම්බන්ධයක් නැති බැවින් ඇමෙරිකා ආධාර වැඩපිළිවෙලේ වෙනසක් ඇතිකිරීමට අවශ්‍යතාවයක් නොමැතිබව අමෙරිකා ජාත්‍යන්තර ආයතනයේ ආසියානු කාර්යාංශයේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක ඩෙනිස් රෝලින්ස් කියයි.
මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව විසින්ම විසඳාගතයුතු බව කලක සිටම කියාසිටි බවත් එසේ වුවද ඇමෙරිකා ආධාර ලබාදීම අඩු හෝ වැඩි කිරීමට එම ප්‍රශ්නය බල නොපාන බවද ඒ මහතා සදහන් කරයි.
ඇමෙරිකා ආධාර යටතේ 2009යෙන් පසුව සරණාගතයන් නැවත පදිංචිකිරීම, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීම ජල කළමනාකරණ ව්‍යාපෘති, ආධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම වැනි සුවිශාල වැඩපිළිවෙලවල් උතුර නැගෙනහිර ප්‍රදේශවල පිහිටුවාගන්නා ලද පොදු ජන සංවිධාන මෙන්ම පෞද්ගලික අංශයේ ආයෝජිකයන්ද එකතුව ක්‍රියාත්මක කෙරෙයි.
වසරකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 130 (රුපියල් කෝටි 167.7) මුදලක් මෙම ව්‍යාපෘති සඳහා වැයකෙරේ.
මෙයට අමතරව සුනාමි ව්‍යසනයෙන් කඩා වැටුණ අරුගම්බේ පාලම නැවත සෑදීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 135 ( රුපියල් කෝටි 1741.5) ඇත.
ඇමෙරිකානු ආධාර මුලික වශයෙන්ම යෝදාගනුලබනේ ජනජීවිත නගාසිටුවීම උදෙසා සහායවන වැඩකටයුතු සඳහා බවද ඩෙනිස් රෝලින්ස් පවසයි.