
උතුරු සෝමාලියාවේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන බිලාල් අල් සුඩානි ඝාතනය කළ බව ඇමෙරිකාව පැවැසීය.
ඇමෙරිකා හමුදාව සෝමාලියාවේ, මෙම විශේෂ හමුදා මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමැතිය ඊට හිමිවීමෙන් පසුවය. සෝමාලියා රජය, හමුදාව සහ බුද්ධි අංශයේ සහාය ද ඇමෙරිකානු හමුදාවට ලැබී තිබේ.
බිලාල් අල් සුඩානි අත් අඩංගුවට ගැනීම සඳහා ඔහු රැඳී සිටි සෝමාලියාවේ ගුහා සංකීරණයට ඇමෙරිකානු හමුදා කඩා වැදුණු අවස්ථාවේදී අල් සුඩානි සමඟ සිටි සෙසු අයි.එස්. ත්‍රස්තවාදීන් සහ ඇමෙරිකන් හමුදා සෙබළුන් අතරේ දරුණු අවි ගැටුම් සිදුවිය. එහිදී ඇමෙරිකන් ප්‍රහාරවලින් අයි.එස්. ත්‍රස්තවාදීන් 10 දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
අප්‍රිකා කලාපයේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ව්‍යාප්ත කිරීමේ කටයුතු බාර වී තිබුණේ බිලාල් අල් සුඩානිට බව ඇමෙරිකාව වැඩි දුරටත් පවසා ඇත. බිලාල් අල් සුඩානිසෝමාලියාවේ සිට ලෝකයේ පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් සඳහා මූල්‍ය සහාය සපයා ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
(රොයිටර්)

