ඇමැති සමඟ 70ක් මෛත්‍රීට


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද,  පළාත් සභා මන්ත්‍රීවරු හය දෙනකු ද, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු 63 දෙනකු ද සමග සමස්ත ලංකා මහජන කොංග්‍රසය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කැප වන බව කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා අද (22) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ 2005 සිට මේ දක්වා ඇමැතිකම් දැරූ තමා දැනට දරන ඇමැතිකමින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

බද්යුදීන් මහතා මෙසේ ද කීවේය.

‘2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවන්නට අපි උතුරු නැගෙන හිර විශාල වැඩ කොටසක් කළා. ඒ වගේ යුද්ධයේ දි අපි අවශ්‍ය සහයෝගය  දුන්නා. යුද්ධය ජයග්‍රහණය කර සාමය උදාකර දීම සම්බන්ධයෙන් ජනාධිපතිටත්, ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා. යුද ජයග්‍රහණයෙන් පසු අපි හිතුවේ මේ රටේ සියලු ජාතීන්ට ගැටළුවක් නැතුව සාමකාමීව ජීවත්වෙන්න හැකි වෙයි කියලයි.

2010 වසරෙදිත් අපි මහින්ද රාජපක්ෂ මහත්මා දිනවන්න කැපවුණා. ඉන් පසු රටේ සංවර්ධනයක් ඇති වුණා. නමුත් වසර දෙකක පමණ කාලයක ඉඳන් මේ රටේ නැවත ප්‍රශ්න මතු කරන්න උත්සාහ ගත්තා. ආගම්වාදය, ජාතිවාදය අවුස්සන්න උත්සාහ ගත්තා.

අලුත්ගම සිද්ධිය සැලසුම් සහගතව ඇති කළ දෙයක්. එය නවත්වන ලෙස ඉල්ලුවත් නැවත්තුවේ නෑ. ඉන් පසු දිගින් දිගටම විවිධ සිද්ධි ඇති කළා. මේ පුංචි රටේ අපි සමගියෙන් ජීවත් වුණේ. එය නැති කරන්න උත්සාහ කළා. අපි කොපමණ කීවත් එය නැවැත්තුවේ නෑ.

සිරිසේන මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි අධ්‍යයනය කළා. අද අපි හදිසියේ තීරණයක් ගත්තා මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන දිනවන්න. ‘

මෛත්‍රීපාල සිරිසේන මහතා -

‘අද සියලු කටයුතුවලින් මහින්ද රාජපක්ෂ මහත්මයා අසමත් වෙලා. රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ පක්ෂයේ සහායෝගයත් අපට ලැබීමෙන් පසු පක්ෂ හා සංවිධාන 48ක සහායෝගය අපට තිබෙනවා.  

අපි කිසි දිනක යුද්ධයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. එල්ටීටීය නැවත හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ.‘

_DSC0366 _DSC0406 _DSC0415 _DSC0425 _DSC0481 _DSC0491