ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (30) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් නොපැමිණීම නිසා හදිසියේ අවලංගු කර දැමුණු අතර එහි ගිය මාධ්‍යවේදීන් හරවා යැවීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වන බව කලින් කියා තිබිණි.
මාධ්‍ය හමුව ආරම්භවීමට තිබුණේ පෙරවරු 11.30ටය. ඒ වන විට ඩිව් ගුණසේකර සහ මොහොමඩ් මුසම්මිල් මහත්වරු පැමිණ සිටි අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා දහවල් 12.30 වන විටත් ආවේ නැත.
ඔහු බේරුවල ප්‍රදේශයේ කටයුත්තකට සහභාගී වී සිටින බැවින් මාධ්‍ය හමුවට නොපැමිණෙන බවත්, ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ඔහු ද මාතර ගොස් සිටින බවත් කී මාධ්‍ය සම්බන්ධීකාරකවරයා මාධ්‍ය හමුව අවලංගු කිරීමට තීරණය කළේය.

