ඇමරිකානු සංගීත සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් අතර 'ඩ්‍රේක්' ඉදිරියේ


2016-10-13-ent-34

44 වැනි වාර්ෂික (American Music Awards) ඇමරිකානු සංගීත සම්මාන උලෙළ මෙවර නොවැම්බර් 20 වැනි දින ලොස් ඇන්ජලිස් නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුගිය සඳුදා දිනයේදී එහි සම්මාන උදෙසා නිර්දේශිත වූ නම් ප්‍රකාශයට පත්කෙරුණු අතර, එහි සම්මාන 13ක් උදෙසා නම යෝජනා වූ කැනේඩියානු රැප් ගායක "ඩ්‍රේක්" මෙහි වැඩිම සම්මාන ප්‍රමාණයක් උදෙසා නිර්දේශ වී තිබේ. ඔහු මෙලෙස සම්මාන ලැයිස්තුවේ ඉහළින් වැජඹෙන්නේ 1984 වර්ෂයේදී සම්මාන 11කට නම නිර්දේශ වෙමින් ඇමරිකානු සංගීත සම්මාන උලෙළේ වැඩිම සම්මාන ගණනකට නිර්දේශ වූ මයිකල් ජැක්සන්ගේ වාර්තාවද බිඳහෙළමිනි.

ඩ්‍රේක් ගේ නවතම ගීත ඇල්බමය වන "Views" ඇල්බමයේ ගීත මෙම වසරේ ඇමරිකානු ගීත දර්ශකයන්හි සති 13ක් තිස්සේම ඉහළ ස්ථානයේ පැවතුණු අතර, ඔහුගේ %One Dance^ ගීතයද මෙම වර්ෂයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් ගීතයක් විය.

ආර් ඇන් බී ගායිකා රිහානාද මෙම සම්මාන උලෙළේ සම්මාන 7ක් උදෙසා නිර්දේශ වී ඇති අතර, බ්‍රිතාන්‍ය ගායිකා ඇඩෙලි, කැනේඩියානු ගායක හාට්ත්‍රෝබ් සහ ජස්ටින් බීබර්ද සම්මාන 5 බැගින් නිර්දේශ වී ඇත. එසේවුවත් පසුගිය "MTV Video Music Awards" සම්මාන උලෙළේදී සම්මාන 8කටම හිමිකම් කී බියොන්සේ මෙහිදි නිර්දේශ වී ඇත්තේ සම්මාන හතරක් උදෙසා පමණි.

මෙවර සම්මාන උලෙළේ වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානය උදෙසා ඩ්‍රේක්, බියොන්සේ, රිහානා, ඇඩෙලි, බීබර්, සෙලීනා ගෝමස්, ඇරියානා ග්‍රැන්ඩි, ද වීක්න්ඩ්, කේරි අන්ඩර්වෘඩ් සහ ට්වෙන්ටි වන් පයිලට්ස් තරග වදී.

 

අනුෂි දන්තනාරායන

 

2016-10-13-ent-33