ඇබොට් - ස්කොට්ට ‘සරණාගත හිසරුදාව‘


ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයන් 200 කට වැඩි දෙනෙක් සහිත බෝට්ටු දෙකක් පසුගියදා කොකෝස් හා ක්‍රිස්මස් දූපත් අසලදී ඕස්ට්‍රේලියා නාවික හමුදාව හා මුහුදු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ අතර සරණගතයින් 43 සහිත යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවුක හමුදාවට භාරදීමෙන් පසුව ශ්‍රී ලංකා අධිකරණය වෙත යොමු කර ඇත.

සරණාගතයන් ආපසු ශ්‍රී ලංකාවට හරවා යෑවීමට ඕස්ට්‍රේලියා රජය පියවර ගැනීමත්, අගමැති ටෝනි ඇබොට් සහ ඇමති ස්කොට් මොරිසන් මෙය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවීමත් ඕස්ට්‍රේලියා ස්වේච්ඡා සංවිධාන දැඩිව හෙලා දකියි. මේ අතර ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය තම රජය මෙන් ම ශ්‍රී ලංකා රජයත් දැඩි විවේචනයට භාජනය කිරීමට පටන් ගෙන ඇත. පවතින තත්ත්වයන් හොදින් තේරුම්ගත් ඕස්ට්‍රේලියා විදේශ කටයුතු ඇමතිවරයා සරණාගතයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

පසුගියදා විසා ලබා නොදීම හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන මිය ගිය ශ්‍රී ලංකීක දෙමළ ජාතික 28 හැවිරිදි ලියෝ සීමන් පිල්ලෛ තරුණයාගේ අවසන් කටයුතු වලට ද සහභාගී විමට ඔහුගේ දෙමාපියන්ට අවස්ථාව දී තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් ද අගමැති ටෝනි ඇබොට් සහ විදේශ කටයුතු ඇමති ස්කොට් මොරිසන් දැඩි විවේචනයට ලක් වී ඇත.