ඇපය ළිහිල් කරන්නැයි ආක්ෂා සුදාරි ඉල්ලයි


ඉන්දියා ව්‍යාපාරිකයකුගේ රුපියල් කෝටි 9 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන ආක්ෂා සුදාරි නිළිය සිය ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි  උසාවියේ අවසර ඉල්ලුවාය.

දැනට ඇප මත සිටින ඇය සෑම ඉරිදාවකම රහස් පොලිසියේ පෙනී සිටිය යුතු යැයි අධිකරණය නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා ඉන්දියා ව්‍යාපාරිකයකු වන ගෝපිරාජ් කාවලන්ගිල් 2015 මැයි මාසයේදී දුන් මුදල් එසේ වංචා කර ඇතැයි කියති.

ඩුබායි එම්.බී පැට්‍රෝලියම් ආයතනයේ ගණකාධිකාරිවරයකු වන පැමිණිලිකරු වසර ගණනක් තිස්සේ සුදාරි සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියති.

ඉන්දියා ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ ඇප කෝන්දේසි ලිහිල් කිරිමට තමා විරුද්ධ බවයි. එමගින් ඇයට රට යාමට  පවා ඉඩ ඇතැයි ඔහු කීවේය.

පැමිණිල්ල නීතිපතිට වාර්තාවක් යැවීමට බලාපොරොත්තු වන හෙයින් විභාගය කල් තබන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

වැඩිදුර විභාගය දෙසැම්බර් 17 ට කල් තැබිණි.