ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මුහුදු අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට ඇප දීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් ද රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක් ද නියම විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් ඔහුගේ වැඩිමල් සොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අධිකරණයට පැමිණියේය. ඇප දෙනතුරු සැකකරුවෝ කුඩුවේ රඳවනු ලැබ සිටියහ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු,හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල,හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක,ඇවන් ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති,හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ,හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රැන්සිස් ජයරත්න සැකකරුවෝ වෙති.
එතෙර ගොස් සිටි දෙවැනි සැකකරු වන සුජාතා දමයන්ති ජයරත්න වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා තර්ක කරමින් අල්ලස් කොමිසමේ ලිඛිත අවසර නොමැතිව නඩු පැවරිමට නොහැකි කීවේය. එය නීති විරෝධි බවත් ඔහු කියා සිටියේය. සෙසු සැකකරුවන්ගේ නිතිඥවරුන් ද කියා සිටියේ කොමිසමේ ලිඛිත අවසරයක් නොමැතිව තම සේවාදායකයනට නඩු පැවැරිම නිතිවිරෝධි බවයි.
තම අසනීප වෙනුවෙන් එතෙර යාමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,හිටපු මේජර් වඩුගේ ප්‍රනාන්දු හා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාපති අවසර ඉල්ලා සිටියහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විත්තියට හා පැමිණිල්ලට නියෝග කළේ තම විරෝධතා ලිඛිතව ගොනු කරන ලෙසයි. එතෙර යාමට අවසර ඉල්ලු තිදෙනා සම්බන්ධයෙන් ලබන 3 වැනි දා තීරණයක් ගන්නා බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය. නඩුව දෙසැම්බර් 1 වැනි දා ට කල් තැබිණි.
සැකකරුවන් 8 දෙනාගේ ඡායාරූප