අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදු කළැයි කියමින් අත්අඩංගුවට ගනු ලැබු ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ලබා දුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් අල්ලස් කොමිසම පවරා ඇති නඩුව මාර්තු 31 වැනිදා විමසීමට කොළඹ මහාධිකරණය අද (6) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරු අමල් රණරාජා මහතා එම නියෝගය කළේය. අල්ලස් කොමිසම විසින් ගොනු කොට ඇති මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රයේ වගඋත්තරකරුවන් ලෙස ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා නම් කොට ඇත.
අල්ලස් පණතේ දුෂණය නමැති වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇති සැකකරුවන් දෙදෙනා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නිල නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට නියම කරමින් මහෙස්ත‍්‍රාත්වරයා කළ නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් අල්ලස් කොමිසම මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රය ඉදිරිපත් කොට ඇත.

