ඇප ඉල්ලූ පෙත්සම ඉල්ලා අස්කර ගන්න සූදානම්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප නියම කර ඇති බැවින් ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව පෙත්සම්කාර මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අද (07) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන මැයි 02 වැනි දා ඉල්ලා අස් කර ගන්නා බව ජනාධිපති නීතීඥවරයා පැවසීය.

එම ප‍්‍රතිශෝධන පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදී නීතීඥවරයා මෙලෙස දැනුම් දුන්නේය.

වාහන 40ක් අවභාවිත කළැයි බන්ධනාගාර ගත කර සිටි වීරවංශ මහතාට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් ඉකුත් මාර්තු 21 වැනිදා දෙන ලද නියෝගයට එරෙහිව ගොනු කළ මෙම ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එච්.සී.ජේ.මඩවල සහ එල්.බී.ටී දෙහිදෙණිය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ කැඳවන ලදී.