දෝහා කටාර් හි පැවති ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේ දිනූදා අබේසේකර සමත් වූවාය. ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (2 වැනිදා) දිවයිනට පැමිණියාය.
ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ. ඒ කුමාරදාස සහ උප සභාපති අජිත් තමෙල් ඇතුළු නිලධාරීන් විසින් දිනූදාව ඉතා උනුසුම් අන්දමින් පිළිගන්නා ලදහ.
ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියකදී ශ‍්‍රී ලංකික ක‍්‍රීඩිකාවක් පදක්කමක් ලබා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාස ගතවන බව ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ.ඒ කුමාරදාස මහතා පැවසීය. ඇය මෙම පදක්කම් තුන හිමිකරගත්තේ කිලෝග‍්‍රෑම් 44 බර පන්තියෙන් තරගවදිමින් ස්නැච් ක‍්‍රමයෙන් කිලෝග‍්‍රෑම් 54 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝගෑම් 65 ක්ද බර මුලූ එකතුව කිලෝග‍්‍රෑම් 119 ක් වශයෙන් බර ඔසවමිනි.
දිනූදා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන ක‍්‍රීඩිකාවකි. මේ වන විටත් ජාත්‍යන්තර තරග රැසකින් ජයග‍්‍රහණය කර ඇති බැවින් ඇය අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩිකාවක් බව ඇගේ පුහුණුකරු ඩන්කන් ජයසිංහ මහතා පවසයි.
තම ජයග‍්‍රහණය පිලිබද අදහස් දැක්වූ දිනූදා පැවසූවේ ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට කීර්තියක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් තම පුහුණුකරුවන්ටත්, පාසලටත් ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ නිලධාරීන්ටත් සිය ස්තුතිය පුද කරන බවත්ය.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේම ඉසුරු සේනාධීර කිලෝග‍්‍රෑම් 94 බර පන්තියෙන් 6 වන ස්ථානය හිමිකරගත්තේය.
තරගාවලිය රටවල් 40 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 250 පමණ සහභාගීත්වයෙන් මැයි 26 දා සිට දෝහා කටාර්හිදී පැවැත්විණි. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ඩන්කන් ජයසිංහ මහතාද කළමනාකරු වශයෙන් චමින්ද ගමගේ මහතාද කටයුතු කළහ.
(දිනූදා අබේසේකර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිලිගන්නා ලද අවස්ථාව. වමේ සිට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ උප සභාපති අජිත් තමෙල්, කණ්ඩායම් පුහුණුකරු ඩන්කන් ජයසිංහ, දිනූදා අබේසේකර (ක‍්‍රීඩිකා), ඉසුරු සේනාධීර (ක‍්‍රීඩක), කණ්ඩායම් කළමනාකරු චමින්ද ගමගේ සහ ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ.ඒ කුමාරදාස යන මහත්වරු...)