ආසියානු කනිෂ්ට දැල්පන්දු තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් තරගයට එයි


මේ දින වල බෲනායි දේශයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ දැල් පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (5 වැනිදා) සමත්විය. හෙට (ඉරිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශී‍්‍ර ලංකා පිල මැලේසියාවට එරෙහිව තරගවැදීමට නියමිතය.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 70-28 ක් ලෙස හොං කොං පිල පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. මැලේසියානු පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී සිංගප්පූරු පිල ලකුණු 52-32 ක් ලෙස පරාජය කරමිනි. අවසන් පූර්ව වටයේ තරග ඊයේ පැවැත්විණ.

අවසන් පූර්ව තරගයේ කාර්තු 4 තුළදී පිළිවෙළින් 23-8 ක්, 11-9 ක්, 18-7 ක් සහ 18-4 ක් ලෙස තරගය පුරාම හොංකොං පිලට වඩා ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකා පිල අවසන් තරගයට පිවිසියේය.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් සාර්ථක දස්කම් දැක්වූ නිසලා අල්ගම උත්සාහයන් 56 කින් ලකුණු 46 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිලේ නායිකා සේමිණි ද අල්විස් උත්සාහයන් 20 කින් ලකුණු 17 ක්ද, එරංගනී මල්කාන්ති උත්සාහයන් 12 කින් ලකුණු 7 ක්ද රැස්කළහ.

මෙවර තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුන ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තායිලන්තය (ලකුණු 77-40), මාලදිවයින (ලකුණු 112-06), නේපාලය (ලකුණු 133-10) සහ සිංප්පූරුව (ලකුණු 63-40) පරාජය කරමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණියේය.


(*)