ආවා යැයි අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා සෙබළෙක්


යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ යැයි සැකපිට සෙනසුරාදා (12) අත්අඩංගුවට ගත් හය දෙනා අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ද සිටින බව   පොලිස් ආරංචි කියයි.

එම සෙබළා ඉංජිනේරු බළකායට අනියුක්තව සේවය කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන අංශය මගින් පසුගිය දා අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා අතර යුද හමුදා සෙබළාට අමතරව  පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් ද වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවෝ යාපනය උඩුවිල්, මනිප්පායි, පන්ඩිතිරිප්පු, තිරුනෙල්වේලි  සහ කොක්කුවිල්හි පදිංචිකරුවෝ වෙති.

ආවා කල්ලිය සම්බන්ධයෙන් 2013 සිට පැමිණිලි ලැබී ඇති බවත්, 2014 සහ 2015 දී වැටලීම් කර 20 දෙනකු පමණ අත්අඩංගුවට ගත් බවත් එම පිරිස අතරද යුද හමුදාවේ සේවය කළ සෙබළකු සිටි බවත් පොලිසිය පවසයි.

පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන්ට ද මේ වසරේ පෙබරවාරි මාසයේ අවා කල්ලියෙන් යැයි කියමින් පහර දී ඇතැයි ද, ඒ ගැන චුන්නාකම් පොලිසියට පැමිණිලි කර ඇතැයි ද මානව හිමිකම් කොමිසමට තොරතුරු ලැබී තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කීවේ යුද හමුදා සාමාජිකයකු ආවා යැයි කියමින් අත්අඩංගුවට ගැනීමක් ගැන වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් උසස් පොලිස් නිලදාරියකු කීවේ තමන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළා තවමත් රාජකාරියේ නිරත අයෙකු බවයි.